fbpx ‘පීඩාවට පත්වූවන්ට අවංකවන්න’ - ඕක්ලන්ඩ් ආයතනයෙන් ශ්‍රී ලංකා රජයට පිළිතුරක් | The Oakland Institute
Skip to main content Skip to footer

‘පීඩාවට පත්වූවන්ට අවංකවන්න’ - ඕක්ලන්ඩ් ආයතනයෙන් ශ්‍රී ලංකා රජයට පිළිතුරක්

June 10, 2015
Source
JDS Lanka

උතුරු නැගෙනහිර පළාත්වල ජීවත්වන දෙමළ ජනයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳ වන සාක්‍ෂි සහිත වාර්තාවක් ශ්‍රී ලංකා රජය විසින් නොතකා හැරීම, ස්වාධීන බුද්ධි මණ්ඩලයක දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ.

එක්සත් ජනපදයේ ඕක්ලන්ඩ් ආයතනය විසින් නොබොදා එළි දක්වන ලද වාර්තාවකින් පෙන්වා දී තිබුණේ යුද්ධයෙන් සය වසරකට පසු දෙමළ ජනයා ප්‍රමුඛ සිංහල බෞද්ධ නොවන ප්‍රජාවන්ට එරෙහි ’නිහඬ යුද්ධයක්’ තව දුරටත් ක්‍රියාත්මකව ඇති බවයි. නමුත් ‘සුළුතර ජාතීන්ගේ’ අයිතීන් ක්‍රමානුකූලව උල්ලංඝනය කෙරෙන බවට ඕක්ලන්ඩ් වාර්තාවේ දැක්වෙන කරුණු තමන් ප්‍රති‌ෙක්‍ෂ්ප කරන බව ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කර තිබේ.

රජයේ ප්‍රතිචාරය විවේචනයට ලක් කරමින් එය ‘හුදු ආරක්‍ෂණවාදී පියවරක් පමණක් බව’ පෙන්වා දෙන ඕක්ලන්ඩ් ආයතනයේ විධායක අධ්‍යක්‍ෂිකා අනුරාදා මිත්තාල් JDS වෙත ලබා දුන් විශේෂ ප්‍රකාශයක් මගින් කියා සිටියේ ‘වින්දිතයන් සහ ජාත්‍යන්තර ප්‍රජාව කෙරෙහි අවංක වීමට අවශ්‍ය දේශපාලන අභිලාෂයක් නොමැතිවීම’ එමගින් පිළිබිඹු කරන බවයි.

‘සීමිත දැනුමක් සහිත පිටස්තරයන්’

ඕක්ලන්ඩ් ආයතනය විසින් “යුද්ධයේ දිගු සෙවනැල්ල - පශ්චාද් යුද කාලීන ශ්‍රී ලංකාවේ යුක්තිය සදහා අරගලය"මැයෙන් යුතුව මැයි මාසයේදී එළිදක්වන ලද වාර්තාව මගින් ‘ශ්‍රී ලංකා ආණ්ඩුව දෙමළ ජාතිකයන්ගේ සහ අනෙකුත් සුළු ජාතීන්ගේ මානව හිමිකම් ක්‍රමාණුකූලව උල්ලංඝනය කරමින් සිටින බවටද, දෙමළ ජනයාගේ සාම්ප්‍රදායික නිජබිම් තීව්‍ර හමුදාකරණයකට යටත්කොට, එම ප්‍රදේශ සිංහල ජනපදකරණයකට ලක්කරමින් යන බවටද’ චෝදනා නඟා තිබුණි. යුද්ධය අවසන් වී වසර 6ක් ගතවී ඇතත්, උතුරේ පමණක් අවම වශයෙන් 160,000ක් නොඅඩු හමුදා රඳවා සිටින බව හෙළිදරව් කරන, වාර්තාව ප්‍රදේශයේ ජන අනුපාතය හා සසඳන කල එය සෑම සිවිල් වැසියන් හය දෙනකුටම එක් සන්නද්ධ සෙබළෙක් රදවා තැබීමක් බවත් වාර්තාව පෙන්වා දෙයි.

තම රජය මෙම වාර්තාවේ අඩංගු කරුණු ප්‍රති‌ෙක්‍ෂ්ප කරන බවට බීබීසී ගුවන් විදුලි‌යේ සිංහල සේවයට ප්‍රකාශ කළ නියෝජ්‍ය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය අජිත් පී පෙරේරා කියා සිටියේ ඕක්ලන්ඩ් ආයතනය ‘සීමිත දැනුමක් සහිත පිටස්තර සංවිධානයක්’ බවයි. උතුරු පළාතේ විශාල හමුදා රඳවා තැබීමක් සිදුකර නැතැයි අවධාරණය කළ ඇමතිවරයා ‘කොතරම් සෙබළුන් ප්‍රමාණයක් රැඳවිය යුතුදැයි තීරණය කිරීම රජයේ අයිතියක්’ බව ද කියා සිටියේය.

'විකල්ප සංඛ්‍යා ලේඛණ ඉදිරිපත්'

ඕක්ලන්ඩ් වාර්තාවේ දැක්වෙන තොරතුරු 2014 දෙසැම්බර් හා 2015 ජනවාරි අතර කාලය තුළ එම සංවිධානය ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිදුකළ ක්‍ෂේත්‍ර විමර්ශනයන් මගින් රැස්කරගත් බව වාර්තාවේ දැක්වුණද, ඔවුන් රට තුළ එවැනි විමර්ශන සිදුකළ බව තමන් ප්‍රති‌ෙක්‍ෂ්ප කරන බව ද අමාත්‍ය පෙරේරා බීබීසීයට ප්‍රකාශ ක‌ළේය.

නමුත් ඕක්ලන්ඩ් ආයතනයේ විධායක අධ්‍යක්‍ෂිකා මිත්තාල් JDS සමග කියා සිටියේ වාර්තාවේ දැක්වෙන කරුණු සාවද්‍ය නම් ඊට විකල්ප දත්ත සහ සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කිරීමට රජය කටයුතු කළ යුතු බවයි.

‘උතුරේ රඳවා සිටින හමුදා ප්‍රමාණය ගැන අපි දක්වා තිබෙන ගණන් හිලව් රජය ප්‍රති‌ෙක්‍ෂ්ප කරනවා නම්, නිවැරදි සංඛ්‍යාවන් එළිදරව් කිරීමත්, එම හමුදා ඉවත් කිරීම‌ සඳහා ඇති කාල සටහන ප්‍රසිද්ධ කිරීමත් රජයේ වගකීමක්’ ඇය කියා සිටියාය.

ඕක්ලන්ඩ් ආයතනයේ සම්පූර්ණ ප්‍රකාශය පහත දැක් වේ:

“ඕක්ලන්ඩ් ආයතනය විසින් මෑතක දී නිකුත් කරන ලද වාර්තාව ශ්‍රී ලංකා අණ්ඩුව දැඩිව ප්‍රති‌ෙක්‍ෂ්ප කරන බව කියමින් නියෝජ්‍ය විදේශ අමාත්‍ය අජිත් පී පෙරේරා කර ඇති ප්‍රකාශය, හුදු ආරක්‍ෂණවාදී පියවරක් සේම වින්දිතයන් හා ජාත්‍යන්තර ප්‍රජාව කෙරේ අවංක වීමේ දේශපාලන අධිෂ්ඨානයක් නොමැතිකම ද පිළිබිඹු කරන්නකි. අපේ ‌ෙක්‍ෂ්ත්‍ර අධ්‍යයනයන්හි දී අප ආයතනයේ පර්යේෂකයන්ට වාර්තා වු පරිදි ම "අපි වඩා හොඳින් දන්නවා" කීමේ ආකල්පය උතුරු හා නැගෙනහිර ජනයාගේ එදිනෙදා අහිමිවීම් හා විඳවීම් ප්‍රති‌ෙක්‍ෂ්ප කරයි. වඩාත් වැදගත්ව, අපගේ සොයාගැනීම් සාවද්‍ය බවට හෝ ‘දැඩිව ප්‍රති‌ෙක්‍ෂ්ප කිරීමට' ශක්තිමත් හේතු ඇති බවට තොරතුරු හෝ සාක්ෂි ඉදිරිපත් කරමින් සිය ප්‍රකාශය තහවුරු කිරීමට පෙරේරා මහතා අසමත් වෙයි.

එවැනි තත්ත්වයක් යටතේ මෙම ප්‍රතිචාරය අපේ සොයාගැනීම් ප්‍රතිබලගන්වන අතර එමගින් ජනාධිපති සිරිසේනගේ ආණ්ඩුව යටතේ තත්ත්වය යහපත් වී ඇතැයි සිතීම මුලාවක් ය යන්න සනාථ කරයි.

සත්‍යය, යුක්තිය හා ප්‍රතිසන්ධානය පිළිබඳ වාගාලංකාරයන් එසේම තිබිය දී, ආණ්ඩුවේ ස්ථාවරය පැහැදිලි ය. "ආරක්ෂක තත්ත්වයේ හෝ හමුදා කඳවුරු ඉවත්කිරීම පිළිබඳ කිසිදු වෙනසක් නොවේ." ආණ්ඩුව උතුරු අර්ධද්වීපයේ කිසිදු හමුදා සංස්ථානයක් ඉවත් නොකරන බවත්, ආරක්ෂක විධිවිධාන පහත හෙලීමට ආණ්ඩුව කටයුතු නොකරනු ඇති බවත් සහතික කරමින් මේ යථාර්ථය2015 දී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන තහවුරු කළේ ය. උතුරේ ඇති දැඩි හමුදාකරණය පිළිබඳ අපගේ සොයාගැනීම් සාවද්‍ය නම්, ආණ්ඩුව උතුරෙන් හමුදා ඉවත්කිරීම පිළිබඳ සාක්කි හෝ හමුදා ඉවත්වන්නේ කවදාදැයි යන්න පිළිබඳ කාලසටහන ලාබාදිය යුතු ය. රටට අවශ්‍ය වන්නේ හිස් වචන නොව, සාක්කි ය. පෙරේරා මහතාගේ ප්‍රකාශය, ගැටලුවට තුඩුදී ඇති උතුරේ 'ආරක්ෂක' තත්ත්වය එලෙසින්ම ඉදිරියට ගෙනයාමට යෝජනා කරන සෙයක් පෙනේ.

ඒ ආකාරයෙන් ම, ජානාධිපති රාජපක්ෂ, මහජන ආරක්ෂක පනත යටතේ පොලිස් බලතල සන්නද්ධ හමුදා අතට පත්කිරීමට දී තිබූ නියෝගය පසුගිය පෙබරවාරි 02 වැනි දා ජනාධිපති සිරිසේන විසින් ද දීර්ඝ කරනු ලැබී ය. මහජන ආරක්ෂාව නම් ව්‍යාජ කඩතුරාව යටතේ පොලිස් බලතල ක්‍රියාවේ යෙදවීමට සන්නද්ධ හමුදාවන් කැඳවීම සිවිල් පරිපාලනයකට ආපසු පැමිණීමේ දී යහපත් පෙර නිමිත්තක් නෙවේ. ඒ වෙනුවට එම නිවේදනය යෝජනා කරන්නේ මහජන ආරක්ෂාව පිළිබඳ ඇති සැළකිල්ල හා තත්ත්වය සම්බන්ධයෙන් කටයුතු කිරීමට පොලීසිය නොසෑහෙන බව යි. ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් අපගේ වාර්තාවට ප්‍රතිචාර දක්වමින් ගාර්ඩියන් පුවත්පතට කියා තිබුණේ, "පොලිස් බලතල සන්නද්ධ හමුදාවන්ට පවරා දෙන මහජන ආරක්ෂක පනත දශක ගණනාවක් තිස්සේ පැවැති බවත්...... ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කළේ එය දීර්ඝ කිරීම පමණක් බවත්" ය. උතුරේ හමුදා රඳවා තැබීම දිගටම පවත්වාගෙන යාමේ කාරණය සැලකීමේ දී, මේ ආණ්ඩුවේ ඇති වෙනස කුමක්දැ'යි පැහැදිළි කිරීමට ඇතැම් විට පෙරේරා මහතාට හැකි වන්නට පිළිවන!

දෙවනුව, සන්නද්ධ හමුදාවන්හි ඇති ඉහළම තනතුරක් වන යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට මෑතක දී පත්කරන ලද මේජර් ජනරාල් ජගත් ඩයස් සහ යුද්ධයේ අවසන් අදියරේ දී ඔහු ආඥාපතිත්වය දැරූ 57වැනි සේනාංකය බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින බව ආණ්ඩුව ප්‍රති‌ෙක්‍ෂ්ප කරන්නේද? මේ චෝදනා සාවද්‍ය හා ජාත්‍යන්තර වශයෙන් ගෞරවයට පාත්‍ර වූ මානව හිමිකම් සංවිධාන විසින් ගොතන ලද ඒවා යැයි අවශ්‍ය නම් කිව හැකි වුවද, අභ්‍යන්තර වගවීමේ යාන්ත්‍රණයක් මගින් යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීම සඳහා විශ්වසනීයත්වයක් ඇතිකිරීමට ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ කෙසේද? උතුරු හා නැගෙනහිර පීඩාවට පත් ජනයාගේ විශ්වාසය දිනාගත හැකි වෙනත් හමුදා මාණ්ඩලික ප්‍රධානියෙක් පත්කිරීමට එය සූදානම්ද?

තෙවැනිව, "2009 දී ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය පරාජය කිරීමටත්, මානුෂීය මෙහෙයුම් අතරතුර පෙන්වන ලද කැපීපෙනෙන නිර්භීතකමට, ප්‍රශංසනීය කාර්ය සාධනයට සහ ජාතියට කරන ලද සම්භාවනීය සේවයටත්" උපහාර වශයෙන් ජෙනරාල් සරත් ෆොන්සේකාට ජනාධිපති සිරිසේන ගේ අණින් ෆීල්ඩ් මාෂල් තනතුර පිරිනැමිණි. වගවිභාගයකින් තොර ෂෙල් ප්‍රහාර ඔස්සේ අහිංසක සිවිල් ජන ඝාතනයන් සිදුකළ බව විස්තර කරන එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තාව ඇතුළු විවිධ වාර්තා නොතකා හරිමින් යුද්ධයේ අවසන් අදියර ‘මානුෂීය මෙහෙයුමක්’ ලෙස විදහා පෙන්වන ආණ්ඩුවක් සත්‍යයට හා ප්‍රතිසන්ධානයකට අව්‍යාජව ම කැපවනු ඇතිද? මෙය ජනාධිපති සිරිසේනගේ දේශපාලන අවසිහිය පිළිබඳ නිදසුනක්ද නැතිනම් නරක මහජන සම්බන්ධතා උපදෙස් පිළිබඳ සිද්ධියක්ද?

සිව්වැනිව, ජයකුමාරී බාලේන්ද්‍රන් නම් දෙමළ මව මුදාහැරීම සිදුවූයේ ඇමරිකානු ඩොලර් 1,500ක පමණ කොන්දේසි සහිත ඇප සමගිනි. ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් වසරකට වැඩි කාලයක් සැකපිට රඳවාගෙන සිටියත් ඇයට එරෙහිව නිශ්චිත අපරාධ චෝදනාවක් එල්ල කර නැත. ඇගේ 13 හැවිරිදි දියණිය ළමාරක්‍ෂණ අධිකාරියේ අඩස්සියේ තබාගැනිණි. පුද්ගලයන් ඇප මත මුදාහැරීම ඔවුන්ට නිදහස් කිරීම හා සමාන නොවේ. තවද, ඇයට සිය විදෙස් ගමන් බලපත්‍රය භාරදීමට සිදුවූ අතර, විමර්ශන දිගටම සිදුවන අතරතුර ඇය සෑම මාසයක ම පෞද්ගලිකව ම පොලීසියට වාර්තා කළ යුතු විය. ඇය ආපසු පැමිණියේ තමන් සන්තක දෑ කොල්ල කාගත් නිවෙසකට ය. නිවසක් කුලියට ගත නොහැකි බැවින්, ඇයගේ දියණිය නැවතත් ළමා ආරක්‍ෂණ සේවාව යටතේ සිටින අතර ජයකුමාරී මූලික පහසුකම් පවා නැති පැල්පතක සිය මව සමග ජීවත් වේ. බාලේන්ද්‍රන් ගේ අපරාධ: වාර්තා වන අන්දමට ආණ්ඩුවේ හමුදාවන්ට භාර වූ සිය පුත්‍රයා 2009 සිට අතුරුදහන් වීමෙන් අනතුරුව ඇය යුද්ධයේදී අතුරුදහන් වූ පුද්ගලයන් සොයාගැනීමේ උත්සාහයන් සමග සම්බන්ධව කටයුතු කර තිබේ. තමන් මුදාහැරීමෙන් අනතුරුව, ප්‍රතිසන්ධානය හා යුක්තිය වෙනුවෙන් ආණ්ඩුවේ කැපවීම ප්‍රශ්න කරමින්, ඕක්ලන්ඩ් ආයතනයට ඇය ලබාදුන් සාක්ෂිය ජනාධිපති සිරිසේනගේ ආණ්ඩුවට ඍජු සදාචාරාත්මක අභියෝගයකි. ඇගේ අවාසනාවන්ත ඉරණම හා මවකට සිය දියණිය ළමා ආරක්‍ෂණ සේවාවකට භාරදීමට බලකැරෙන තත්ත්වයක් නිර්මාණය කිරීම, නව පරිපාලනය පැහැදිළි කරන්නේ කෙසේද?

පස්වනුව, 2015 මැයි මස 19 වැනි දිනරජයේ සන්නද්ධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක සේනාංකවල යුද විරුවන් සැමරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් "රණවිරු" උත්තමාචාර (විජයග්‍රහණය සැමරීමේ) උළෙලක් පැවැත්වූයේ යුද්ධයේ අවසන් අදියරේ සහ සමස්ත යුද්ධය තුළ මිය ගිය සිවිල් වැසියන් සැමරීම සඳහා සංවිධානය කර තිබූ සැමරීම් තහනම් කිරීමෙන් අනතුරුව ය. යුද්ධයේ දී මරා දැමූ අහිංසකයන් සැමරීමේ කිසිදු කටයුත්තක් මැයි මස 18 වැනි දින සිට දින 14 ක් යන තුරු මුලතිව් පොලිස් වසම තුළ තහනම් කරමින් මුලතිව් මහේස්ත්‍රාත්වරයා විසින් නියෝගයක් නිකුත් කරන ලදි. තහනම් නියෝග නොතකා පවත්වන ලද සමරු කටයුතුවලට සහභාගී වූවන්ට පොලිසිය සහ ආරක්ෂක හමුදාවල නිලධාරීන් විසින් හිරිහැර පමුණුවන ලදි. දේශපාලන නිදහස ලබාදීම හෝ සහ සංහිඳියාවට උත්සාහ දැරීම සිදුවන්නේ මෙලෙස ද?

අවසාන වශයෙන්, උතුරු සහ නැගෙනහිර අත්පත් කර ගෙන තිබූ ඉඩම් කීපයක් මුදාහරින ලදි. සාම්පූර්හි ඉඩම් අක්කර818ක් ආයෝජන මණ්ඩලයට පැවරීමේ ගිවිසුම ජනාධිපති සිරිසේන විසින් අවලංගු කරන ලදි. නමුත් නාවික හමුදා කඳවුරක් සාමිපූර්හි ප්‍රතිස්ථානගත කිරීමට නියමිතව තිබේ. කෙසේ වුවද සාම්පූර්හි පවරාගෙන ඇති ඉඩම් ප්‍රමාණය අක්කර 800කට වැඩිය.

මීට අමතරව සාම්පූර්හි නාවික හමුදා කඳවුරක් ප්‍රතිස්ථානගත කිරීමට යන ස්ථානය ඇත්ත වශයෙන්ම පිහිටා ඇත්තේ එය දැන් ඇති ස්ථානයට “වැටෙන් එහා පැත්තේය.” කිසිදු යටිතල පහසුකමක් ශේෂ වී නැති විට, වගාවන් සඳහා නුසුදුසු තත්ත්වයක ඉඩම් පවතින විට, දැවැන්ත ෂෙල් ප්‍රහාරයන්ගෙන් දිවි ගලවා ගැනීමට පලාගිය ඉඩම් හිමියන්ට කිසිදු නීත්‍යානුකූල ලියැවිල්ලක් තම අයිතීන් ඔප්පු කිරීම සඳහා ඉතුරුව නැති විට නැවත පදිංචි කිරීම විශාල ගැටළුවක් ලෙස පවතී. එමෙන් ම ඉන්දියානු සමාගමකට අයත් ගල් අඟුරු බලාගාරය අසල ජනතාව නැවත පදිංචි කිරීමේ තීරණයට, මේ ඉඩම් නැවත පවරා දීමේ තීරණයෙන් කිසිදු බලපෑමක් සිදුව නැත. ගල් අඟුරු බලාගාරයක් අසල පදිංචියට යෑමට කැමැති කිසිවෙකු නව ආණ්ඩුවේ සිටී ද?

මේ අතර ඉතා මෑතක දී නැගෙනහිර පළාතේ සාම්පූර්හි ඉඩම් අක්කර 818 ක පදිංචියට යාමට සුදානම් වූ ජනතාව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මගින් වළක්වා තිබේ.

අධිකරණ නියෝගයට අනුව ගැටුමට අදාළ පාර්ශ්වයන් වන ඉඩම්වල මුල් හිමිකරුවන් වන ගොවීන්ට හෝ ආයෝජන මණ්ඩලය විසින් එය පවරා දෙනු ලැබූ ශ්‍රි ලංකා ගේට්වේ කර්මාන්ත සමාගමට (Sri Lanka Gateway Industries (SLGI) ජූනි15 වන තෙක් ඉඩමට ඇතුළු වීම තහනම් ය.

සාකච්ඡා වට ගණනාවක් පැවැත්වීමෙන් අනතුරු ව උතුරේදී ඉඩම් අක්කර 1000කට නොවැඩි ප්‍රමාණයක් මුදා හැරීම ගැන මහා ඝෝෂාවක් රජය විසින් සිදු කරයි. මේ පවරා දෙන්නට යන්නේ අවතැන් වූ ජනයාගෙන් උතුරාගත් සශ්‍රීක ඉඩම්ද? අක්කර 6000ක් උදුරාගෙන තිබේ. ඒ වෙනුවට නිසරු ඉඩම් අක්කර 1000ක් නිදහස් කර තිබේ. ජනයාගෙන් උදුරා ගත් ඉඩම්වල ඉදිකර ඇති ‘තල් සෙවණ හෝටලය’ බිමට සමතලා කොට වසර ගණනාවක් අවතැන් ව සිටින එහි මුල් පදිංචිකරුවන්ට පදිංචියට අවශ්‍ය යටිතල පහසුකම් ඇතිකිරීමට රජය සුදානම් ද? සරණාගත කඳවුරුවල වසර ගණනාවක් ජීවත් වූ ජනයාගෙන් ඒ පිළිබඳව සමාව අයැදීමක් සිදුව ඇත් ද? එසේ නොමැතිනම් යුක්තිය ඉටුකිරීමක් ගැන කථා කළ හැකි ද?

2015 මැයි 31 නිව් ඉන්ඩියන් එක්ස්ප්‍රස් වෙත නැවැත පදිංචිකිරීම් පිළිබඳ ඇමැති ඩී එම් ස්වාමිනාදන් කළ ප්‍රකාශයකට අනුව ආරක්ෂක අමාත්‍යාංශ සංඛ්‍යා ලේඛන වලට අනුව ආරක්ෂක හමුදා විසින් උතුරු නැගෙනහිර පළාත්වල ඉඩම් අක්කර 44,548 අත්පත් කර ගෙන සිටී. මෙයින් අක්කර 9000ක් යාපනය දිස්ත්‍රික්කයට අයත් ය. තවත් 9000ක් මුලතිවූ දිස්ත්‍රික්කයට අයත් ය. ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේ “අප මේ පවරා ගත් සියලුම ඉඩම් නැවත ඉල්ලන්නේ නැත. අපි ආරක්ෂක අවශ්‍යතාවන් ගැන අවබෝධ යක සිටිමු. අපි ඉල්ලා සිටින්නේ සෘජුවම හමුදාව විසින් භාවිතා නොකරන ලද ඉඩම් සහ මොනම ආකාරයකින්වත් භාවිතා නොකරන ඉඩම් පමණි. රජයට අයත් ඉඩම් අප ඉල්ලා නොසිටිමු. අප ඉල්ලා සිටින්නේ හැබෑ ලෙසම මුල් හිමිකරුවන්ට අයත් පුද්ගලික හිමිකාරත්වයක් සහිත ඉඩම් පමණි”. මේ මගින් ඇමැතිවරයාගේ ස්ථාවරය පිළිබිඹු වෙයි. නමුත් ඒ මගින් අවතැන්ව ඇති ජන කොටස්වල ඉල්ලීම් නියෝජනය වේ ද?මෙම ඉඩම් රඳවාගැනීමට රජයේ හමුදාවන්ට ඇති පෙළැඹුම කුමක් ද? දැනට හමුදාවන් විසින් සෘජුවම පාලනය කරන ඉඩම්වල ඔවුන් විසින් පවත්වාගෙන යන සංචාරක හෝටල්, කෘෂි ව්‍යාපාර, සහ අනෙකුත් ව්‍යාපාරික කටයුතු ඊට ඇතුළත් ද?

අපගේ වාර්තාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා වෙනුවට වගකීමක් සහිත රජයක් නම් කළ යුත්තේ සාමය සහ ස්ථාවරත්වය ඇතිකිරීමට ද, සියලු වාර්ගික ප්‍රජාවන්ගේ පූර්ණ අයිතීන් ලබාදීමට ද අවශ්‍ය වන දැඩි පියවර ගැනීම ය. එක්සත් ජාතීන් ගේ වාර්තාව මේ සැප්තැම්බර්වලදී එළි දැක්වෙනු ඇත.රජයට තවමත් අවශ්‍ය ක්‍රියාමර්ග ගැනීමට සහ එමගින් තම ගෞරවය ආරක්ෂා කර ගැනීමට කල් තිබේ.”