Skip to main content Skip to footer

ශ්‍රී ලංකාව වර්ගතාන්ත්‍රික රාජ්‍යයක් වී ඇති බවට එක්සත් ජනපදයෙන් වාර්තාවක්

March 9, 2021
Source
Ceylon News

ජන සංයුතිය වෙනස් කොට දෙමළ ජනතාවට තම භූමිය අහිමි කිරීමේ අරමුණින් යුතුව “සංවර්ධන ව්‍යාපෘති”වලට මුවාවී මෙහෙයවනු ලබන සිංහල ජනපදකරණය දෙමළ පළාත් වල වර්ධනය කරමින් සිටින බවට ආණ්ඩුවට ජාත්‍යන්තර චෝදනාවක් එල්ලවී තිබේ.

යුද්ධයේ කුරිරු අවසානයෙන් අවුරුදු 12 ක් ගතවූ පසුවත්, දෙමළ ඉඩම් ජනපදකරණය හා සිංහලකරණය තීව්‍ර කරමින් ශ්‍රී ලංකාව වර්ගතාන්ත්‍රික රාජ්‍යයක් වී ඇති අයුරු හෙළි වන බව එක්සත් ජනපදයේ පිහිටි ඕක්ලන්ඩ් ආයතනය විසින් එළි දක්වා ඇති “නිමක් නැති යුද්ධය: ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ භූමියේ, සහ අනන්‍යතාවයේ විනාශය” නම් නවතම වාර්තාව පවසයි.

ශ්‍රී ලංකාවට අදාල නව යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වෙනි සැසිවාරයේ සැලකිල්ලට ගනිමින් තිබෙන අවස්ථාවේ දිවයිනේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට එරෙහිව දිගටම කරනු ලබන හිංසනය පිළිබඳ තැතිගන්නා සුළු අලුත් සාක්ෂි අනාවරණය කර තිබේ.

“වාරිමාර්ග යෝජනා ක්‍රම, හමුදා කඳවුරු, පුරාවිද්‍යා රක්ෂිත, වනජීවී අභයභූමි, රක්ෂිත වනාන්තර සහ විශේෂ ආර්ථික කලාප යනාදිය මගින් උතුරේ හා නැගෙනහිරේ ඉඩම් කොල්ල කෑම අවුරුදු දෙකකට ඉහතදී ආණ්ඩුව වෙනස් වීමත් සමග නරක අතට හැරී තිබේ,” යි වාර්තාව සඳහා වූ සමීක්ෂණය සම්බන්ධීකරණය කළ අනුරාධා මිත්තල් පැවසුවාය.

“පාරම්පරික භූමියට ප්‍රවේශ වීම වලක්වා ලීම, ග්‍රාම නාම වෙනස් කිරීම, බෞද්ධ විහාර ඉදිකොට දේවස්ථාන හා කෝවිල් ඉවත් කිරීම සහ සිංහල ආධිපත්‍යය වෙනුවෙන් කැපකෙරුණු ජයග්‍රහණ ස්මාරක ඉදිකිරීම යනු දෙමළ ඉතිහාසය හා සංස්කෘතිය මකා දැමීම සඳහා වන සැලසුම්ගත උත්සාහයකි. සම්ප්‍රදායික දෙමළ නිජභූමිය වන උතුරු නැගෙනහිර භූගෝලීය වශයෙන් කැබලි කිරීමද ආණ්ඩුවේ මූලෝපාය වී ඇත.”

මෙම මූලෝපාය සඳහා මහවැලි අධිකාරිය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වනජීවී දෙපාර්තමේන්තුව ඇතුළු ආණ්ඩුවේ දෙපාර්තමේන්තු කිහිපයක්ම යොදවාගෙන ඇති ආකාරය වාර්තාවෙන් එළිදරව් කෙරේ.

පශ්චාත් යුද ශ්‍රී ලංකාව පිළිබඳව ඕක්ලන්ඩ් ආයතනය විසින් ප්‍රකාශයට පත් කොට තිබෙන හතරවැනි වාර්තාව වන නිමක් නැති යුද්ධය, ඉඩම් කොල්ලයේ පරිමානයත්, පුළුල් වශයෙන් සිදුකෙරෙන හමුදාකරණය දෙමළ ජනගහනය කෙරේ ඇති කරන බලපෑමත් පිළිබඳ කාලෝචිත යාවත්කාලීන කිරීමක් සපයයි. හමුදා වාඩිලා ගැනීම් කොයි තරම් බරපතලද කියතොත්, සෑම සාමාන්‍ය වැසියන් හය දෙනකුටම පාහේ එක සොල්දාදුවකු බැගින් ඉන්නා බව එහි සඳහන් වෙයි.